Posted on March 28, 2017 at 6:00 PM
ලෞකික ජීවිතය තුල මිනිසුන්ගේ විඩාවක් පවතිනවා. ඒ විඩාවක් පවතින්නේ ලෞකික ජීවිතය තුල ඔවුන්ට කරන්න බැරි මහා බන්ධන ජාලාවක් නඩත්තු කරගෙන ජීවත් වෙන්න විශාල වෙහෙසක් දරන නිසා. ඒ නිසා තමයි විඩාවක් තියෙන්නේ. කවුරුහරි කෙනෙක් තමන්ගේ ජීවිතය තුල පවතින ඒ සදාකාලික විඩාව, අසහනය නිරවුල්, පැහැදිලි මනසකින් දැක්කොත් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත මනුෂ්‍යයා, ඒ තේරුම් ගත්ත මොහොතේ ඉඳන්ම කරන දෙයක් තියෙනවා. “නිදහස් වෙන්න බලනවා.”
ඒක හරියට මේ වගෙයි. මනුස්සයෙක් යනවා දර කඩන්න. ඒ මනුස්සය කැලේ ගිහිල්ල දර කඩලා. ඒ දර මිටිය ඔලුවට අරගෙන තියා ගන්නවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දර මිටියක් ඔලුවේ තියා ගත්ත මනුශ්ෂයෙක් හැම විටම ගවේෂණය කරන්නේ “තමුන්ගේ ගෙදරට යන පාර”. හැම විටම බලාපොරොත්තු වන්නේ තමුන්ගේ නිවසෙහි දොර. හැම විටම සොයන්නේ තමුන්ගේ මිදුල. මක් නිසාද? ඒ දරමිටිය බිම දමා නිදහස් වීමට ඇති කැමැත්ත නිසා. එච්චරයි. ඒ මනුස්සයා වෙන කිසිවක් කවදාකවත් සොයන්නේ නැහැ. ඒ මනුස්සයා වෙන කිසිම දෙයක් කවදාකවත් ගවේෂණය කරන්නෙත් නැහැ. මිනිස්සු මේ කාම ලෝකේ ජීවත් වෙනකොට “ සාපේක්ශකයක් නැති නිසා” ඒ ගෝල්ලෝ ඒ ගොල්ලොන්ගේ ජීවිතයට බැහැල ඒක තුල හැප්පෙනවා. සටන් කරනවා. ඒ ගොල්ලන්ට තේරෙනවා ඒකට බැහැල සටන් කරනකොට වෙහෙස දැනෙන බව. එහෙත් ඒ වෙහෙස දැනෙනකොට කුමක් කරන්න ඕනද? කුමක්ද ඒකට කරන්න ඕන? “ඒක තේරෙන්නේ නෑ”ඊටපස්සේ ඒගොල්ලෝ කරන්නේ “ඒ වෙහෙස සමනය කරගන්නවා.” වෙහෙස සමනය කරන්නනේ විවේක අරගෙන. ඒකයි ලෝක සම්මතයේ හැමදාම සතියෙන් දවස් පහක් වැඩ කරන්නත් දවස් දෙකක් නිවාඩු ගන්නත් කියලා සම්මත කරලා තියෙන්නේ. මම ප්‍රශ්නයක් අහනවා. “ මේ සතිය හදල තියෙන්නේ ලෞකික සිත් ඇති මිනිසුන්ටද? ලෝකෝත්තර සිත් ඇති මිනිසුන්ටද?” “ලෞකික සිත් ඇති මිනිස්සුන්ට”.
ඒ විධියට දෙකට බෙදා හදල තියෙන්නේ. එතකොට ඒ ගොල්ලෝ විකල්පයක් නැති නිසා කරන්නේ දවස් පහක් වැඩකරලා දෙකක් නිවාඩු ගන්නවා. ඒ දවස් දෙකේ තමයි අර දවස් පහේ වෙච්ච මහන්සිය සමනය කර ගන්නේ.ඒ දවස් දෙකේ තමයි ආයෙත් දවස් පහක් වැඩ කරන්න අවශ්‍ය මානසික පසුබිම හදා ගන්නේ.
ඒ දවස් දෙකේ තමයි අර පහේ වැඩකරලා එකතු කරගත්ත දේවල් වියදම් කරන්නේ. ඒ වියදම් කරනකොට සල්ලි අඩු වෙනකොට තමයි ආයේ වැඩ කරන්න ඕන කියල හිතට එන්නේ. ඇත්තටම මට නිවාඩුවෙන් ගත කරන මිනිස්සු පෙනෙන්නේ නැහැ. මට පේන්නේ ආයේ වැඩ කරන්න හිත හදා ගන්න මිනිස්සු. ඔවුන් ආයෙත් දවස් පහකට මේ දිවිල්ල දුවන්න ලෑස්ති වෙනවා. නැවත නැවතත් ආයෙත් ආයෙත් මේ දිවිල්ල දුවනවා. එතකොට විඩාවක් ඇති වෙනවා. “ඔවුන් කරන්නේ මොකක්ද කියලා දන්නේ නෑ! ඔවුන්ට කරන්නේ මොකක්ද කියල කිසි දවසක කව්රුත් පෙන්වන්නේත් නැහැ.! ඔවුන්ට ඇත්තටම කරන්න ඕන දේ පෙන්නුවොත් ඔවුන් අර දවස් දෙකේ නිවාඩුව සදාකාලයට අරගන්නවා.!”
-------- සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයානෝ -----------