සිරි සදහම් ආශ්‍රමය


එදා සර් ඩී,බී ජයතිලක වළව්ව ලෙස හැදින් වූ මෙදා මුලු මහත් ලෝක වාසී බොදුනුවන්ගේ ඤාණය අවධි කරන්නා වූ පින්බිම සිරිසදහම් ආශ්‍රමයයි. එදා අතීතයේ මෙම ස්ථානයේ ජීවත් වූයේ මුලු මහත් ශ්‍රී ලංකාවම හොඳින් දන්නා හඳුනන යුග පුරුෂයෙක් වූ සර් දොන් බාරොන් ජයතිනක ශ්‍රිමතාණන් ය. එතුමා මෙරටෙහි නිළ නොළත් අග්‍රාමාත්‍යවරයා ලෙසද මිනිසුන් සඳහන්කොට තිබුණි.

කෙසේ නමුත් අනගාරික ධර්මපාල තුමා, හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා වැනි යුග පුරුෂයන් අතර සර් ඩී, බී ජයතිලක මැතිතුමාද ඉමහත් සේවාවක් මෙරටට සිදුකර ඇත. එදා ඔවුන් දන්නා තරමින් මෙරටෙහි බොදුනුවන්ගේ ඇස්පාදන්නට වෑයම් දරා ඇත. නමුත් අන්ධ විශ්වාසයන්ගෙන් තම සිත් වසාගත් ශ්‍රී ලාංකික බොදුනුවන්ගේ ඤාණය අවධිකිරීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවන බව එම යුග පුරුෂයන් ද දැන සිටින්නට ඇත. නමුත් ඔවුන් යම් උත්සාහයක් දරමින් යම් සමාජ ශෝධනයක් කර ඇති බව අප කාහටත් පැහැදිලි ය.

නමුත් මෙදා එම පින් බිම තුළින්ම ශ්‍රී ලංකා දීපයට පමණක් නොව මුලුමහත් ලෝක වාසී බෞද්ධ ජනතාවට මෙන්ම මධ්‍යස්ථ මතධාරී සමස්ථ ප්‍රජාවටම උදා වූයේ සද්ධර්මයේ ආලෝකයයි. එනම් මිථ්‍යා මත තුළ ගිලෙමින්, අන්ධ විශ්වාසයන්ගෙන් තම සිත්සතන් පුරවාගනිමින් මුලු ජීවිතයම අපායක් කරගනිමින් සිටි මිනිසුන් හට මෙන්ම භික්ෂු ජීවිතය අඳුරෙන් අඳුරට ගෙන යමින්, දේශපාලනය තම ජීවිතය කරගනිමින් සිටි, නිවන, සද්ධර්මය කැලෑගත වෙමින් තිබූ යුගයක සිරිසමන්ත භද්‍ර අරිහත් මහා ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ ආලෝකය රැගෙන පහළ වූයේ මෙම පින්බිමේ දී ය.

එදා මෙදාතුර අප දන්නා තරමින් ලංකා දීපයේ ධර්මායතන විශාල ප්‍රමාණයක් කලින් කල ඇරඹී ඇත. යහපත් ජීවන ක්‍රමයක් අනුගමනය කරමින් රටට සමාජයට යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන ක්‍රමවේදය එම ධර්මයාතන ඔස්සේ කියා දුනි. නමුත් සද්ධර්මය ලොවට කියා දෙන ධර්මායතන අප දැක තිබුණේ නැත. සද්ධර්මය යනු බණපොත් කියාදීම නොව නිර්වාණ මාර්ගය, දුක නිවන මග මුලු මහත් සත්ත්ව ප්‍රජාවටම අනුකම්පාවෙන් දේශනා කිරීම ය. එම උතුම් කාර්යය අද දවසේ සිදුකෙරමින් යන පින්බිම සිරිසදහම් ආශ්‍රම භූමියයි.

එදා පිටිදූවේ සිරිධම්ම නමින් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ ජීවිතයේ අරුත සොයාගොස් 2011 වර්ශයේ අවබෝධයට පත්වූවා යැයි පැවසූ විට මුලු මහත් සමාජයක් උන්වහන්සේට විරුද්ධව අවි ආයුධ අමෝරා නැගීසිටියහ. නමුත් උන්වහන්සේ අවබෝධ කළ ඒ උතුම් සත්‍ය නොනවත්වාම ලෝකයට දේශනා කළ සේක. අවසන සිදුවූයේ සත්‍යයේ ආලෝකය දසත පැතිරෙමින් සිව්වනක් පිරිස උන්වහන්සේ වටා රොක් වීමය. අද වන විට උගත් තරුණ තරුණියන් විශාල පිරිසක් පැවිදිබිමට ඇතුළත් වී උන්වහන්සේ පෙන්වන්නා වූ නිර්වාණ මාර්ගය අනුගමනය කරමින් යන උතුම් පින්බිම සිරිසදහම් ආශ්‍රමභූමියයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ගුරුවරුන්, ගුරුවරියන්, සමාජයේ උසස් ඉහළ ස්ථරවල රැකියාවල නියුතු වූවන් තම ජීවිතයේ අරුත සොයා උන්වහන්සේ ළඟ සසුන්ගත වී ඇත.

සාම්ප්‍රදායික ලියකියවිලි ධර්මය යැයි සිතා ඒ මත තම මුලු ජීවිතයම දිය කළ මිනිසුන් හට සිරි සමන්ත භද්‍ර අරිහත් මහා ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ ආලෝකය ලබා දුන්සේක. අන්ධානුකරණයෙන් තම ජීවිත වසාගත් මුලු මහත් සමාජයක් අද වන විට සද්ධර්මය කුමක් දැයි පියවරෙන් පියවර අවබෝධ කරගනිමින් සිටියි. සිරි සමන්ත භද්‍ර අරිහත් මහා ස්වාමින් වහන්සේ ඔවුන්ට නිස මග කියා දුන් සේක. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම එක්රොක් වී සද්ධර්මයේ සිසිලස විඳින උතුම් පින්බිම සිරිසදහම් ආශ්‍රම භූමියයි. ඔවුන් ඒ මග අනුගමනය කරමින් අද වන විට තම තමන්ගේ ජීවිත ආලෝකමත් කරගෙන ඇත. අද වන විට ලංකා දීපයේ පමණක් නොව දෙස් විදෙස් හි පවා පතල සිරි සදහස් ආශ්‍රම භූමිය මිනිසුන්ගේ සිත් සතන්වල පවතින දුක නිවන ධර්මායතනය බවට පත් වී අවසන් ය.